You are currently viewing මිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?

මිනිසුන්ගේ පැවැත්ම ඇත්තෙන්ම සාධාරණයිද?

“Two possibilities exist: either we are alone in the Universe, or we are not. Both are equally terrifying.”
Arthur C. Clarke
Fiction writer

ඔයා කවදා හරි දවසක, එලියට වෙලා හොඳ හුලං පාරක් වැදීගෙන එන හැන්දෑවකදි ඈත පේන තරු දිහා බලාගෙන කල්පනා කරලා තියනවද මේ ලෝකෙට පිටින් තව කවුරු හරි ඇති කියලා? මෙච්චර ට්‍රිලියන ගානක් තරු තියන මේ ලෝකේ, මෙච්චර අවුරුදු බිලියන ගානක් තිස්සේ පැවතගෙන එන මේ විශ්වයේ, අපි විතරමද ඇත්තටම ජීවත් වෙන්නේ? එහෙම ජීවත් වෙනවා නම්, ඇයි එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තේ? ඇත්තටම අපි මේ ලෝකේ තනිවෙලාද?

ඔයාටත් මේ වගේ අමුතු දේවල් එහෙම හිතිලා තියනවා නම් මේ මම කියන්න හදන පොත් මාලාව මග ඇරගන්න එපා.

අපි හැමෝම දන්නවා ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහත්මයා ගැන. එක්සත් රාජධානිය වගේ ඈත රටක ඉපදුනත්, ජීවත් වෙන්නත් මිය යන්නත් එතුමා අපේ පුංචි ශ්‍රී ලංකාව තෝරගන්නේ අපිට හිතා ගන්නවත් බැරි ගෞරවයක් ලබා දෙමින් කිව්වොත් ඒක වැරදි නැහැ. 1917 වගේ කාලයකදී ඉපදුනත් එතුමා හැමදාමත් සිහින මැව්වේ අනාගතය ගැන. අනාගතයේ අභ්‍යවකාශ තරණය සහ ඊට අදාළ මාතෘකා ගැන එතුමා රචනා කරපු විද්‍යා ප්‍රබන්ධ කියන්නේ විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සටහනක් තියපු දෙයක්. අන්න ඒ වගේ දක්ෂයෙක් අතින් ලියවුනු පොත් මාලාවක් තමයි රාමා කියන්නේ. මේ පොත් මාලාවේ පොත් හතරක් තියනවා. පලවෙනි පොත රාමා හමුව විදිහටත්, දෙවනි පොත රාමා 2 විදිහටත්, තුන්වෙනි පොත රාමා උයන විදිහටත්, අන්තිම පොත රාමා අනාවරණය විදිහටත් ප්‍රවීන පරිවර්තක එස්. එම්. බන්දුසීල මහත්මයා විසින්, සිංහලෙන් කියවන අපි සඳහා ඉතාමත් ලස්සනට පරිවර්තනය කරලා දීලා තියනවා. ඔයා දැනටමත් මේ පොත් මාලාව කියවලා නැත්තම්, කියවන්න හිතාගෙනත් ඉන්නවා නම්, මම ඔයාට අවවාද කරනවා මේ ලිපිය කියන එක දැන්ම නවත්තලා, පොත් ටික කියවලා ඉවරවෙලා මේක කියවන්න කියලා. මොකද මේ ලිපිය ඇතුලේ කතාවේ ප්‍රධාන දේවල් ටිකක් ඔයාට ස්පොයිල් වෙන්න පුලුවන් නිසා. හැබැයි ඔයා කවදාවත් මේ පොත් කියවන්නෑ කියලා හිතාගෙන ඉන්නවා නම් මේ ලිපිය කියවලා බලන්න. කවුද දන්නේ, ඔයාට ඊට පස්සේ මේ පොත් ටික කියවන්න හිතෙන්නත් පුලුවන්!

ඇත්තටම රාමා කියන්නේ මොකක්ද? පලවෙනි පොතේදි අපිට හම්බවෙන රාමා කියන්නේ ඇත්තටම අත්භූත ආකාශ වස්තුවක්. කවුරුවත් ඇත්තටම දන්නේ නෑ මේ මොකක්ද කියලා. ඈත තියන ග්‍රහලෝක දිහා දුරේක්ෂයකින් බලාගෙන ඉන්න කොට එකපාරටම විශාල සිලින්ඩරයක් ඔයාගේ පැත්තට එනවා දැක්කොත් ඔයාට මොකද හිතෙන්නේ? අන්න එහෙමයි රාමා ගැන පෘතුවියේ මිනිස්සුන්ට දැනුනේ. මේ කතාව සිද්ද වෙන කාලය වෙනකොට, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 2131 දී, අඟහරු, බුධ සහ හඳ කියන ග්‍රහ වස්තු තුනම මිනිස්සු විසින් ජනාවාස කරලා ඉවරයි කියලත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ සෑහෙන දියුණු තාක්ෂණයක් මේ කාලේ මිනිස්සු ගාව තිබ්බා. මේ වෙනකොට ග්‍රීක රෝම දේව සභාවේ ඔක්කොම අයව මෙයාලා තරු නම් කරන්න පාවිච්චි කරලා ඉවර නිසා මේ අමුතු ආකාශ වතුව හින්දු දෙවියෙක්ගේ නමින්, ඒ කියන්නේ රාමා කියලා නම් කරන්න මෙයාලා තීරණය කරනවා. ඒ වගේම මෙයාලා තීරණය කරනවා මේ අමුතු ලෝකය මොකක්ද කියලා බලන්න කණ්ඩායමක් ඒකට යවන්න. ඉතිං අපිට පලවෙනි පොතේදී කියවන්න හම්බවෙන්නේ මෙන්න මේ කතාව. මේ පොත කියවද්දි මට නම් දැනුනේ අලුත්ම ලෝකයක් හොයාගන්න චාරිකාවක් යන ගවේශකයෙක් වගේ. අමුතු තැන්, අමුතු රොබෝවරුන්, තේරුම් ගන්න බැරි පාරිසරික වෙනස්කම් වගේ සෑහෙන දේවල් ගොඩක් අත්දකින්න අපිට මේක කියවගෙන යද්දි හැකියාව ලැබෙනවා. ඒ කොහොම උනත් මේ කණ්ඩායමට රාමා ලෝකය ඉදිරියට ගවේෂණය කරගෙන යද්දි තව තවත් ප්‍රශ්න මතුවුනා මිසක් කිසිම ප්‍රශ්නෙකට උත්තර නම් හම්බ වෙන්නේ නෑ. අන්තිමට මේ රාමා ලෝකය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවෙලා යනකොටත් එයාලා මේක ගැන හරියටම හොයාගන්න එකම දේ, රාමා ජීවීන්, ඒ අය කවුරු උනත්, හැම දෙයක්ම කරන්නේ ත්‍රිත්වයක් විදිහට කියන එක විතරයි.

ඇත්තටම කියනවා නම්, පලවෙනි රාමා පොත, රාමා හමුව කියන්නේ මේ විශ්මයජනක කතාවේ ප්‍රස්තාවන විතරයි.

මේ සිද්ධියෙන් තවත් අවුරුදු 70 කට පස්සෙ, ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ශ 2200 දී දෙවනි රාමා යානයකුත් පෘතුවිය පැත්තට එනවා කියලා හොයා ගන්නවා. පෘතුවියට පිටින් තිබුනු ඔක්කොම ජනාවාස නැතිවෙලා ගිහිල්ලා තියන කාලයක් තමා රාමා – 2 පොතේදි අපිට හම්බ වෙන්නේ. මේ වෙද්දි මුළු සෞරග්‍රහා මණ්ඩලේම කලින් තිබුණු තත්වයට වඩා සෑහෙන පිරිහිලායි තියෙන්නේ. ඒ කොහොම උනත්, මේ කාලේ ඉන්න ලෝක බලවතුන් තීරණය කරනවා මේ දෙවනි යානයත් පරීක්ෂා කරන්න කණ්ඩායමක් යවන්න ඕනේ කියලා. මේ යානයට යන අයට ලැබෙන අත්දැකීම් නම් කලින් ගවේශකයන්ට වඩා සෑහෙන වෙනස්; ඒවා ටිකක් බියකරුයි කියලා කිව්වත් ඒකේ වැරැද්දක් නැහැ. මේ අලුත් යානයේදි අපේ ගවේෂකයන් කණ්ඩායමට මුහුණ දෙන්න වුන ලොකුම පුදුමය තමයි බුද්ධිමත් පිටසක්වල ජීවීන්ව හමු වෙන එක. මේ අතරතුරේදී මේ කණ්ඩායමේ සාමාජිකයින් තුන් දෙනෙක්ම විවිධ අනතුරු වලින් මිය යනවා. ඒ වගේම මේ යානයට බයවෙන මනුෂ්‍ය සංහතිය රාමා විනාශ කරන්න න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න පෙලඹුනත් රාමා පාලනය කරන අත්භූත කෘතිම බුද්ධිය විසින් ඒක නවත්වන්න සමත් වෙනවා. අන්තිමට මේ යානය සොරග්‍රහා මණ්ඩලයෙන් පිටතට යන්නේ කණ්ඩායමේ සාමාජිකයෝ තුන් දෙනෙක්වත් අරගෙනමයි.

ඒත් තවමත්, රාමාගේ අභිරහස විසඳගන්න කාටවත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

මේ කතා පෙළේ තුන්වෙනි පොතේදී දිගහැරෙන්නේ කලින් කිව්ව සාමාජිකයන් මුහුණ දෙන අත්දැකීම් ගැන කිව්වොත් වැරැද්දක් නැහැ. දැන් තමා අපි මේ කතාවේ ප්‍රධාන චරිතය කවුද කියලා හරියටම අඳුර ගන්නේ. ඒ කවුද කියලා දැනගන්න නම් ඔයාට පොත කියවන්නම වෙනවා. කොහොම හරි මේ තුන්දෙනා හොයාගන්නවා මේ දෙවනි රාමා යානය කියන්නේ තවත් ලොකු තැනකට නියැදි, එහෙම නැත්තම් සාම්පල් ටිකක් ගෙනියන යානයක් කියලා. කලින් එයාලට හම්බුන ජීවීන් කියන්නෙත් එයාලා වගේම ඒ යානයේ මඟීන් විතරයි කියලත් එයාලා දැනගන්නවා. ඒ වගේම මෙයාලගේ හැම අඩුපාඩුවක්ම යානයේ රොබෝලා විසින් සපුරලා දෙනවා. මෙහෙම අවුරුදු 13 ක් ගත වුනාට පස්සේ, මෙයාලා අන්තිමට තවත් විශාල යානයකට ලඟා වෙනවා. මෙන්න මෙතනදි තමා මෙයාලා වගේම මේක කියවන අපිත් ඇත්ත දැනගන්නේ. රාමා කියලා පෘතිවියේ මිනිස්සු විසින් හඳුන්වන මේ යානාවල් ඇත්තටම ඉතාම දියුණු ශිෂ්ඨාචාරයක් විසින් අනිත් ශිෂ්ඨාචාර අධ්‍යයනය කරන්න හදපු අභ්‍යවකාශ යාත්‍රා ටිකක්. පලවෙනි රාමා යානය එන්නේ මේ අනිකුත් ජීවීන් මොන වගේද කියලා නිරීක්ෂණය කරන්න. දෙවනි යානය කරන්නේ ඒ ජීවීන්ගෙන් නියැදියක් අරගෙන යන එක. මෙයාලා මෙතනදි දැනගන්නවා තුන්වෙනි යානයකුත් ඉක්මනින්ම පෘතුවියට යන්නයි තියෙන්නේ කියලා. ඒ යානයේ වගකීම තමයි ජීවීන් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට අරගෙන එන එක. ඉතිං මේ ගේන අයට කිසිම හානියක් වෙන්නේ නෑ කියන පොරොන්දුව යටතේ, අපේ ප්‍රධාන චරිතයත් මේ යානෙම ආයිත් පෘතුවියට ගිහිල්ලා මිනිස්සු 2000 ක් විතර යානයට ඇතුල් කර ගන්නවා.

ඔයාට මේ පොතේ මෙතනින් එහාට කියවගෙන යද්දි තමයි මේ රාමා කියන විශිෂ්ඨ නිර්මාණයේ ගැඹුර තේරෙන්න පටන් ගන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මෙතනදි තමා මේ මනුෂ්‍යයින් කියන ජීව කොට්ඨාශය කොච්චර පහත්, සදාචාරාත්මක බවින් පිරිහුණු ජීවීන් කොටසක්ද කියලා අපිට තේරෙන්න පටන් ගන්නේ. මනුෂ්‍යයින් කියන්නේ, ආත්මාර්ථකාමී හේතු නිසා තමන්ට කිසිම හානියක් නොකරන අනෙකුත් ජීවීන්ට හානි කරන්න විතරක් නෙවෙයි, තමන්ගෙම වර්ගයාට උනත් කිසිම පසුතැවීමක් නැතුව ද්‍රෝහී වෙන්න හැකියාවක් තියන ජීවීන් කොට්ඨාශයක් කියලා අපිට මේ පොත ඉස්සරහට කියවගෙන යද්දි තේරුම් යනවා. මේ ලිපියේ මාතෘකාවේ තියන විදිහටම මනුෂ්‍ය සංහතිය ඇත්තටම ඉස්සරහටත් නොනැසී පැවතගෙන යාම සාධාරණද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා.

මේ කතා මාලාවේ අන්තිම කොටස වෙන රාමා අනාවරණය පොතේදී අපිට ඇත්තටම අනාවරණය වෙන්නේ මෙන්න මේ දේ තමයි.

මේ යානයෙන් මෙච්චර ජීවීන් ගොඩක් කොහෙටද ගෙනියන්නේ? ඇයි රාමා නිර්මාණය කරපු අය මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැත්තේ?  ඇත්තටම කියනවා නම්, මේ රාමා යානය කියන්නෙත් විශාල පර්යේෂණයක්. මේ ගෙනියන ජීවීන් මොන වගේද කියන එක හොඳට නිරීක්ෂණය කරලා, ඔවුන් තවදුරටත් විශ්වය ඇතුලේ පැවතෙන්න, ජීවත් වෙන්න සුදුසුද කියන දේ තමයි මෙයාලා මේකෙන් තීරණය කරන්නේ. මේ ගොල්ලෝ ගන්න මේ තීරණයෙන් පෘතුවියට බලපෑමක් නැති උනත්, මේ යන අයගේ පැවැත්ම ඒ තීරණය මත රඳා පවතිනවා. මොකක්ද මේ තීරණය? ඒක දනගන්නත් ඔයාට පොත කියවන්නම වෙනවා.

මේ කතාව ටිකක් විතර මිනිස්සුන්ව අපිට එපා කෙරෙව්වත්, අපිට කතාවකින් ගන්න පුලුවන් විනෝදය කිසිම අඩුවක් නැතුව මේකෙන් ගන්න පුලුවන්. ඒකාධිපතියෙක්ව පරද්දන්න හදන විප්ලවකාරීන්, මිනිස්සු අතර ඇතිවෙන යුද්ධ, පිටසක්වල ජිවීන්ගේ ශිෂ්ඨාචාර, කාලය අවකාශය පරද්දන ආදර කතා වගේ දේවල් උනත් ඔයාට මේ කතාවෙන් බලාපොරොත්තුවෙන්න පුලුවන් කියලා මම බය නැතුව කියනවා. ඉතින්, ඇයි තවත් බලන් ඉන්නේ? දැන්මම කියවන්න පටන් ගන්න, රාමා ඔයා එනකම් බලාගෙන ඉන්නවා.

Leave a Reply