You are currently viewing 1984 – පොත් සාරාංශය

1984 – පොත් සාරාංශය

මුලින්ම කියන්න ඕනේ ඔයා මේ පොත කියවල නැත්තම් එක අතකින් ඒක හොද දෙයක්. මොකද මේක පට්ට depressing පොතක්. මේක කිසිම විදිහකට සතුටුදායක කතාවක් නෙමෙයි. මම දැනට කියවලා තියෙන පට්ටම අවුල් පොත් වලින් එකක් තමයි 1984 කියන්නේ. ඒ උනාට George Orwellගෙ 1984 නවකථාව මම කියවල තියෙන හොඳම පොත් 10ට ඇතුලත් වෙනවා.

ඔයාට රටක් පාලනය කරන්න දුන්නොත් කොහොමද පාලනය කරන්නේ? රාජ්‍යයක් පාලනය කරනවා කියන්නේ රටේ මිනිස්සු පාලනය කරනවා කියන එකයි. හැබැයි මිනිස්සු පාලනය කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. මොකද මිනිස්සු වෙනස්වන සුලුයි. Unpredictable. කොයි මොහොතේ තමන්ට විරුද්ධ වෙයිද කියලා කියන්න බැහැ. තමන්ගේ බලය රැක ගන්නනම් මිනිස්සුන්ව පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම මිනිස් සිත.

මනුස්සයෙක්ගේ සිත පාලනය කරන්න පුලුවන් කියන්නේ ඔයාට මනුස්සයෙක්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් කියන එක. ඒක නිසා මිනිස්සු හිතන එක සීමා කරන්න ඕනේ. මොකද හිතන්න බැරි මිනිස්සු පාලනය කරන එක හරිම ලේසි වැඩක්.

ඔයා කියන ඕනෙම දෙයක් පිලිගන්න, කිසිම විදිහකට ඔයාට විරුද්ධව නොවෙන විදිහට මිනිසෙක්ව පාලනය කරන්න පුලුවන් හොදම විදිහ තමයි මිනිස් හිත පාලනය කරන එක.

සමහර රාජ්‍ය තියෙනවා මේ විදිහට මිනිස්සුන්ව පාලනය කරන. මිනිස්සුන්ගේ මනස රටේ ආණ්ඩුවට අවශ්‍ය විදිහට control කරන. ආණ්ඩුව කොච්චර වැරදි වැඩ කලත්, කොච්චර දූෂිත උනත් මිනිස්සු ඒකට විරුද්ධ වෙන් නැහැ. මොකද ආණ්ඩුව විසින් මිනිස්සු හිතන විදිහ පාලනය කරනවා. මේ විදිහට රාජ්‍යයක් පාලනය කිරීම සර්වාධිකාරවාදය කියලා කියනවා. එහෙමත් නැත්තම් Tolitariasim කියලා.

සර්වාධිකාරවාදය මොන වගෙද කියලා හරියටම තේරුම් ගන්න පුලුවන් පොතක් තමයි 1984 කියන්නේ.

1984 කතාවේ කියවෙන්නේ වැරදුනු ලෝකයක් ගැන. මිනිසෙකුගේ මනස කොච්චර දුරට control කරන්න පුලුවන්ද කියන දේ මේ කතාවෙන් පැහැදිලි වෙනවා. මම මුලින්ම 1984 කතාවේ කියවෙන ලෝකය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.

මේ කතාව සිද්ද වෙන්නේ තුන්වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. මේ වෙද්දි ලෝකය ‍රාජ්‍ය තුනකට බෙදිලයි තියෙන්නේ. ඒ රාජ්‍ය තුන තමයි ඕශියානා, යුරේශියා සහා ඊස්ට්ඒශියා.

අපේ කතාවේ කියවෙන්නේ ඕශියානා රාජ්‍යය ගැනයි. ඕශියානා රාජ්‍යය පාලනය කරන්නේ INGSOC කියන ආන්ඩුව මගින්. මේ ආණ්ඩුවට අමාත්‍යාංශ හතරක් තියෙනවා. ඒ අමාත්‍යාංශ හතර තමයි: සාමය පිලිබද අමාත්‍යාංශය (Ministry of Peace), ආදරය පිලිබද අමාත්‍යාංශය (Ministry of Love), සත්‍ය පිලිබද අමාත්‍යාංශය (Ministry of Truth), සහ භාණ්ඩ පිලිබද අමාත්‍යාංශය (Ministry of Plenty).

සාමය පිලිබද අමාත්‍යාංශයෙන් කරන්නේ වෙනත් රටවල් සමග යුද්ධ කරන එක. ආදරය පිලිබද අමාත්‍යාංශයෙන් කරන්නේ පවතින ආණ්ඩුවට විරුද්ධ වන පිරිස ඝාතනය කිරීම. සත්‍ය පිලිබද අමාත්‍යාංශයෙන් ආණ්ඩුවට අවශ්‍ය ලෙස ප්‍රවෘත්ති සහ තොරතුරු සමාජයට ලබා දෙනවා. භාණ්ඩ පිලිබද අමාත්‍යාංශයෙන් ආර්ථිකය පාලනය කරනවා.

මගෙ හිතට වැදුනු අමාත්‍යාංශය තමයි Ministry of Plenty. මේ අමාත්‍යාංශ මගින් රටේ සම්පත් පාලනය කරනවා වගේම, රටේ මිනිස්සුන්ව පාලනය කරන්නත් රජයට සෑහෙන හෙල්ප් එකක් දෙනවා.

Ministry of Plenty එකෙන් මේකට මරු ගේම් එකක් ගහනවා. ඒ තමයි, අමාත්‍යාංශය විසින් රට පුරා සම්පත් අහේනියක් කෘතිමව නිර්මාණය කරනවා.

රටේ සම්පත් අඩුයි, ඒ නිසා අපි පොඩ්ඩක් කට්ට් කාලා ජීවත් වෙමු, ඉදිරි කාලය තීරණාත්මකයි වගේ එක එක සුරංගනා කතා මේ අමාත්‍යාංශයෙන් මාධ්‍යයට කියනවා.

ඒත් ඇත්තටම වෙන්නේ සම්පත් බෙදීයාම හා සමාජයේ පහල ස්ථර වල ජීවත් වෙන මිනිස්සු දරිද්‍රතාවයෙන් ජීවත් වෙන්න සිදුවන විදිහට රටේ සිස්ටම් එක හදන එකයි.

රටේ තියෙන සම්පත් ටික තමන්ට ඇති තරම් ඉහල ස්ථර වල ඉන්න මිනිස්සු හොදට භුක්තිවිඳිනවා. හැබැයි මාධ්‍යයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට කියනවා බොහොම පරිස්සමට සම්පත් පරිහරණය කරන්න කියලා. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගන්න එපා, පුලුවන් තරම් සීමිත විදිහට ජීවත් වෙන්න කියලා කියනවා.

කාලයත් එක්ක මිනිස්සු මේකට පුරුදු වෙනවා. ඒක නිකන් අපේ ලංකාවෙ මිනිස්සු දැන් කරන්ට් කපන එකට පුරුදු උනා වගේ වැඩක්. මුලදී අමාරුයි කියලා හිතුවට කාලයත් එක්ක මිනිස්සු ඕනෙම දේකට හුරු වෙනවා.

ජෝජ් ඕවෙල් 1984 කතාවෙදි මේ theory එක ගැන සෑහෙන්න ගැඹුරට කතා කරනවා. අල්පේච්ඡතාවය මාධ්‍යය හරහා සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුවට දාන ගමන් සමාජයේ ඉහල ස්ථර වල මිනිස්සු හොරෙන් සැප විඳීම කියන එක තමයි මේ පද්ධතියේ තියරි එක.

ලොකු අයියා

මේ රාජ්‍යයේ බලය මධ්‍යගත කාරකසභාවක පොදු එකඟතාවෙන් පාලනය වෙන්නෙ. මේ සිස්ටම් එකේ ඉතාම දැඩි hierarchy තියෙනවා.

ඕශියානා රාජ්‍යයේ නායකයාව ජනතාව හඳුන්වන්නේ ‘බිග් බ්‍රදර්’ කියලා. ලංකාවෙ හැටියට ගත්තොත් ‘අප්පච්චි’ වගේ සංකේතීය නාමයක් කියලා හිතන්නකෝ. මෙයාගේ පින්තූර හැම පාරකම, හැම බිල්ඩින් එකකම අලවලා තියෙනවා. Big brotherට වෙනම පොලීසියක් ඉන්නවා Thought Police කියලා. මෙයාල මනුස්සයෙක් හිතන පතන විදිහ ගැන අධ්‍යයනය කරනවා. Thought පොලීසියට පුලුවන් මිනිසෙක් ආණ්ඩුවට විරුද්ධව වැරැද්දක් කරන්න හිතද්දිම ඒක හොයාගෙන මෙයාව සිරභාරයට ගන්න. ඒ කියන්නේ ඔයා වැරැද්දක් කරන්න හිතුවත් ඇති, ඔයාව සිරභාරයට ගන්නවා. මේකට මෙයාල face crime කියලා දෙයක් භාවිතා කරනවා. ඔයාගේ මූනෙ expressions වලින් තමයි මෙයාල මේක හොයා ගන්නේ. ඒ වගේම ඔයා හීනෙන් වැරදි දෙයක් කිව්වොත් ඒකත් මෙයාල දැන ගන්නවා. ඒ කොහොමද කියලා මම ඉස්සරහට කියන්නම්.

මේ පොතේ නැවත නැවතත් කියන දෙයක් තමයි big brotherට සහ Thought පොලීසියට ඇස් සහ කන් සෑම තැනකම තියෙනවා කියන එක. මෙයාල සමාජයේ සිදුවන සියලු දේ දකිනවා. සියලු දේ අහනවා. ඒ කියන්නේ ඔයා මොන දේ කලත්, මොන දේ කිව්වත් රජය ඒ ගැන දැන ගන්නවා.

හරි big brother ගැන කතා කරා ඇති. අපි දැන් 1984 කතාවෙ කියවෙන සමාජය ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ system එකේ ඉහලට යන්න සාමාන්‍ය පුද්ගලයන්ට කිසිම බාධාවක් නෑ. INGSOC රජයේ නීති රීති වලට එකගව ජීවිතය හැඩ ගස්වා ගැනීමට හැකි බුද්ධිමත් පුද්ගලයෙක්ට ඉතාම පහල තැනක ඉඳන් ඉහලට යන්න කිසිම බාධාවක් නෑ.

අපි හිතුවට මේ system එක කපටි, දූෂිත හොරු කිහිපදෙනෙක් එකතු වෙලා හදපු එකක් කියලා මේක ඒ වගේ මෝඩ system එකක් නෙමෙයි. මේක බුද්ධියෙන් හා තර්කයෙන් හදපු සිස්ටම් එකක්. මේක හදන්න පාදකවූකරුනු කිහිපයක් මම සදහන් කරන්නම්.

  • ආදරය, කරුණාව, අවංකභාවය වගේ දේවල් මත හදන රාජ්‍ය ක්‍රමය එක්තරා තැනකදී හැමදාම ෆේල් වෙනවා. ඒ නිසා මේ දේවල් සියල්ලම සමාජයෙන් අයින් කරනවා. තමන්ගෙම දරුවන් තමාට විරුද්ධව සාක්ෂි දෙන තරමට මිනිස්සුන්ගෙ ඔලු රජය විසින් brainwash කරනවා.
  • පෞද්ගලිකත්වය නැති කරනවා. මිනිස්සු කරන කියන සෑම දෙයක් ගැනම රජය විමසිල්ලෙන් ඉන්නේ. තමා නිදියන කාමරවල පවා camera සෙට් කරන්න රජයට සමාජයේ මිනිස්සු ඉඩ දෙනවා. තමන් සිහිනෙන් කියන දේවල් පවා රජය දැන ගන්නවා. මේ නිසා රජයට පුලුවන් වෙනවා වැරැද්දක් කරන්න කලින් (කැරලි ගහන්න කලින්) ඒ අදාල පුද්ගලයා සිරභාරයට ගන්න.
  • INGSOC රජයට අවශ්‍ය තවත් දෙයක් තමයි මිනිස්සුන්ගේ තියෙන සියලුම පුද්ගලික බැඳීම් බිඳ දැමීම. මොකද රජයට අවශ්‍ය තමාට 100% පක්ෂපාතී මිනිස්සු. ඕශියානා රාජ්‍යයේ රට වැසියන් ආදරය කරන්නේ big brotherට පමණයි. මෙයාල වෙන කෙනෙක්ට ආදර කරන එක වලක්වන්න රජය විසින් සෙක්ස් විරෝධී වැඩ පිලිවෙලක් පටන් ගන්නව. සෙක්ස් කිරීමේ එකම අරමුණ සමාජය පවත්වාගෙන යෑමට අවශ්‍ය ළමයි හදන එක විතරයි කියන concept එක මිනිස්සුන්ගෙ ඔලු වලට දානවා.
  • රටවැසියන්ට තමන්ගේ තරහ පිට කරන්න කෘතිමව ‘සතුරු පිරිසක්’ නිර්මාණය කරනවා. මේ සතුරන්ව හා කුමන්ත්‍රණ කරුවන් පවත්වාගෙන යන්නෙත් රජය විසින්මයි.

මෙහෙම හිතන්නකෝ. අපි සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන්නේ, අපි දන්නවා අපි ජීවත් වෙන සමාජ සිස්ටම් එකට වඩා හොද සිස්ටම් එකක් තියෙනවා කියලා. ඒත් එහෙම වෙන සිස්ටම් එකක් නැත්නම්. ජීවත් වෙන්න තියෙන එකම සිස්ටම් එක මේක කියලා මිනිස්සු හිතුවොත්.

දූෂිත රජයක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුනාගනන් සිස්ටම් එක “දූෂිත” කියල නිර්ව්චනය කරන්න බැරිවෙන විදිහට INGSOC රජය විසින් රටේ ජනතාවගේ මනස වෙනස් කරනවා.

ප්‍රධාන චරිතය

අපේ කතාවේ කියවෙන්නේ ඕශියානා රාජ්‍යයට අයිති air strip 1 කියන කුඩා නගරයේ ජීවත් වෙන වින්ස්ටන් ස්මිත් කියන මනුස්සයෙක් ගැනයි. මෙයා වැඩ කරන්නේ සත්‍ය පිලිබද අමාත්‍යාංශයේ.

ඕශියානා රාජ්‍යයේ සියලුම රූපවාහිනි චැනල් අයිති වෙන්නේ ආණ්ඩුවට. ඒ වගේම සෑම පුවත්පතක්ම ලියවෙන්නෙත් ආණ්ඩුවට අවශ්‍ය විදිහට. සියලුම ලිපි, ලේකන, පොත්, පත්තර INGSOC කියන ආණ්ඩුව මගින් control කරනවා. පාසල් වල ලමයින්ට උගන්වන දේවල් පවා control කරන්නේ ආණ්ඩුව විසින්. INGSOC කොච්චර බලගතුද කියනවනම්, මෙයාල තමන්ගේ රටේ ඉතිහාසය පවා තමන්ගේ ආණ්ඩුවට ගැලපෙන පරිදි වෙනස් කරනවා.

වින්ස්ටන්ගෙ රස්සාව තමයි සත්‍ය පිලිබද අමාත්‍යාංශයෙන් වෙන පොඩි පොඩි වැරදි විනාස කරන එක. ඒ කියන්නේ ආණ්ඩුව කිව්වොත් ඕශියානා රාජ්‍යයේ අතීත සිදු වීමක් වෙනස් කරන්න කියලා, වින්ස්ටන්ගේ ජොබ් එක වෙන්නේ ඒ අදාල සිදුවීම ගැන කලින් ලියලා තියෙන සියලුම ලිපි විනාශ කරන එක. පොත්, පත්තර, ලිපි ලේඛන සියල්ලම විනාස කරලා අලුතෙන් ලියනවා.

වින්ස්ටන්ට එයාගෙ මේ ජීවිතය එපා වෙලයි තිබ්බේ. මෙයා හැම තිස්සෙම වෙනසක් ගැන හොයනවා. රජයට අහු නොවෙන විදිහට මෙයා තමන්ට කැමති දේවල් කරන්න පටන් ගන්නවා. අන්තිමට මෙයා INGSOC රජයට විරුද්ධව විප්ලවකරුවෙක් වෙනවා. මම මීට වඩා මුකුත් කියන්න යන් නැහැ මොකද ඔයාට කතාව spoil වෙන්න පුලුවන් නිසා.

නමුත් ඔයා සතුටුදායක අවසානයක් බලාපොරොත්තු වෙනවනම් සමාවෙන්න. 1984 කියන්නේ තනිකරම depressing පොතක්. ඔයා හිතාගෙන ඉන්න විදිහේ අවසානයක් නෙමෙයි මේ පොතේ තියෙන්නේ.

1984 කතාවෙ කියවෙන ඉතාමත් වැදගත් දෙයක් තමයි “සත්‍යය කියන්නෙ පොදු එකඟතාවට මිසක් ඊට වැඩි යමකට නොවේ” කියන එක. මේ පොදු එකඟතාවය නිසා අතීතය කියන එක තමන්ට අවශ්‍ය පරිදි නැවත ලියන්න පුලුවන්. මේ ගැන වඩාත් හොදට පොතේ සදහන් කරල තියෙන නිසා මම ගැඹුරට විස්තර කරන්න යන් නැහැ.

මේ පොතෙන් ඉගෙන ගත්තු තව දෙයක් තමයි භාෂා පාලනය කියන දේ. මෙතනදි මිනිස්සු භාවිතා කරන භාෂාව රජය විසින් පාලනය කරනවා. එතකොට තමන්ගේ අදහස් දැක්වීම තවත් සීමා වෙනවා.

Control Language and you control thought; Control Thought and you control action; Control action and you control the World.

මම මෙතනදී 1984 කතාව ගොඩාක් කෙටි කරල, මූලික කරුණු ටික තමයි කතා කලේ. මීට අමතරව කතාවේ තවත් ගොඩක් දේවල් සිද්ද වෙනවා. සර්වාධිකාරවාදය ගැන තවත් සෑහෙන්න විස්තර මේ පොතේ ඇතුලත් වෙනවා. මේ පොත කියෙව්වට කිසිම පාඩුවක් වෙන් නැහැ. මොකද ආණ්ඩුවක් විසින් මිනිස්සුන්ව පාලනය කරන හැටි දැනගෙන ඉන්න එක හොදයි. මම හිතන විදිහට ඕනෙම කෙනෙක් ජීවිතේ එක් පාරක් හරි කියවන්න ඕනෙ පොතක් මේක.

ඉතින් ඔයත් මේ පොත කියවලා තියෙනවනම් ඔයාගෙ අදහසුත් පහලින් comment කරන්න. එහෙනම් තවත් book review එකකින් හමුවෙනකම් මම සමු ගන්නම්.

Leave a Reply