You are currently viewing සීයාගේ කතාන්දර

සීයාගේ කතාන්දර

කතාවක් කියන්නේ හරිම අපූරු දෙයක්.

මට පුංචි කාලේදි ලෝකෙ පෙනුනේ කළු සුදු විදියට වගේ. හරිම කම්මැලියි. ඒකාකාරයි. හරිම සාමාන්‍යයි. කරුවල වැටීගෙන එද්දි සීයාගේ කාමරේට ගිහින් සීයට තුරුළු වෙලා කතන්දර අහගන්න පුරුද්ද ඇති උනේ කොයි කාලෙද කියලා මට හරියටම මතක නැහැ.ඒ උනාට ඒ කතා වලින් පස්සේ මට ලෝකේ වෙනස් විදියකට පේන්න පටන් ගත්තා. හරියටම කියනවා නම් අර කළු සුදු ලෝකේ පාට මතුවෙන්න ගත්තා වගේ මට දැනුනා.අපේ හිතෙන් මවා ගන්න කතාවකින් කොච්චර සතුටක් ලබා ගන්න පුලුවන්ද කියලා මට මුළින්ම තේරුනේ ඒ සීයා කියපු කතාවලිනුයි. ඒ කතා අහගෙන ඉන්න කොට ඇති වුන හැඟීම මට තාමත් මතකයි.මට දැනුණේ මාව අමුතුම ලෝකෙකට ඇදිලා යනවා වගේ.දසමහා යෝධයෝ වගේ ජාතික වීරයොත් මහදැනමුත්තා වගේ නාකි සීයලත් අන්දරේ වගේ විහිලුකාරයොත් ඒ අමුතු ලෝකේ වීරයෝ උනා.ගොඩක් වෙලාවට මුළු දවසම මේ ලෝකෙට වෙලා හිතෙන් එයාලගේ විහිලු වලට හිනා වෙවී හිටියේ හවසට සීයාගෙන් අලුත් කතන්දරයක් අහගන්න තිබ්බ පුදුම උනන්දුවකින්,ආසාවකින්.

දැන් වෙනකොට මගේ සීයා ජීවතුන් අතර නැහැ, ඒ උනත් එදා මට සීයා කියලා දුන්න කතන්දර වලින් අමුතුම ලෝකෙකට ඇදිලා ගිය මගේ හිතෙන්, විඳින්න ලැබෙන දේවල් නිසා මට කවදාවත් සීයාව අමතක වෙන එකක් නැහැ.

ටිකක් ලොකු වෙද්දි මං දැනගන්නවා මේ අමුතු ලෝකෙට වඩා ගොඩාක් විශාල ලෝක ගොඩක් පොත් ඇතුලේ තියනවා කියලා.ඉතිං මම කියවන්න පටන් ගන්නවා.ගෙදර තිබ්බ රූප පොත් වල ඉදන් තාත්තගේ සෝවියට් රුසියානු පොත් වෙනකම් හැම දෙයක්ම කියවලා ඉවරකරන්නේ මේ අරුම පුදුම ලෝකවලට යන්න තියෙන ආසාව නිසාමයි.හැමදාම මාසෙකට සැරයක් ලැබෙන පෙන්ශන් එක අරගෙන එන ගමන් මට පොත් දෙකක් තුනක් ගෙනත් දෙන සීයා නිසා ඒ ආසාව තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නැහැ.රොබින් හුඩ් වගේ වීරයන්ගෙන් යුක්තිය සාධාරණය ගැනත්, දොස්තර හොදහිත වගේ අයගෙන් කරුණාව,සානුකම්පිත බව ගැනත්, මට ඉගනගන්නවාටත් වඩා හදවතටම දැනෙන්නේ මේ කාලෙදි.ඒ කතා වලින් මගේ හිතට හොඳ නරක ගැන සෑහෙන ලොකු පදනමක් වැටුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

තවත් ටිකක් ලොකු වෙද්දි මගේ මේ අමුතු ලෝක වලට යන්න තියන ආසාව වෙනත් මාධ්‍යයකට හැරෙනවා.අපේ ගෙදරට ටීවී එකක් ගේන්නේ මේ කාලෙදි.පොත් වලින් කියවලා හිතෙන් මවාගත්ත හැරී පොටර්,ෂර්ලොක් හෝම්ස් වගේ චරිත මට ඒ පුංචි තිරයෙන් දකින්න පුලුවන් උනා.එතනින් පස්සේ මට අර අමුතු ලෝකවලට යන්න තවත් පාරක් හැදුනා.ඒ පාරත් එක්ක චිත්‍රපටි,කතා මාලා වගේ තවත් පාරවල් ගොඩක් මට හමු වුනත් ඒත් එක්කම මේ අමුතු ලෝකවල හැඩය වෙනස් වෙන්න පටන් ගන්නවා.ඒ අමුතු ලෝක ඇතුලේ මම ජීවත් වෙන ලෝකයේ එක එක කොටස් මට පේන්න ගත්තා.හරියටම කියනවා නම් මෙච්චර කල් මට පෙනුනේ නැති,හොඳ නරක කියන සීමාවන්ට යටත් නොවුණු අළු පාට දේවල් මට පේන්න පටන් ගත්තා.

වයසත් එක්ක අපි ලෝකය දකින විදිය වෙනස් වෙනවා.කතාවක් කියන්නෙත් ඒ වගේ දෙයක්.අපි පොඩි කාලෙදි අහපු කතාවම දැන් අහනකොට ඒක දැනෙන්නේ ගොඩක් වෙනස් විදියට වෙන්න පුළුවන්.නමුත් ඒ හේතුව නිසාම තමයි කතාවක් කියන දේ එච්චර රසවත් වෙන්නේ.මොකද කතාවක් අර්ථකථනය වෙන්නේ ඒක අපි දකින විදිහට නිසා.අපේ කාලය සතුටෙන් පුරවන්නත් දුකෙන් විඳවන්නත් පුලුවන් අපූරු හැකියාවක් කතාවකට තියනවා.නීරස ලෝකයක ජීවත් වෙන පොඩි කොළුවෙක්ගේ ජීවිතේ පාට වලින් පුරවන්න වගේම සුරංගනා ලෝකෙක ජීවත් වෙන කෙනෙක්ව මේ රියලිටියට ඇදලා දාන්න පුලුවන් බලයකුත් කතාවකට තියනවා.

අන්න ඒ නිසාම තමයි කතාවක් කියන දේ හරි අපූරු දෙයක් වෙන්නේ.

මේ කොහොම උනත් අර අලුත් කතාවක් දැනගන්න තිබුනු ආසාව මට තාමත්,කවදාටත් වැඩිය තියනවා.දැන් ඒකට මාධ්‍යය අදාළම නෑ.ඒක පොතක්,පත්තරයක්,කතා මාළාවක්,චිත්‍රපටියක් එහෙමත් නැත්තම් කාටූන් එකක් පවා වෙන්න පුලුවන්.ඒ අලුත් ලෝකයකට ඇතුල් වෙද්දි දැනෙන හැඟීම විඳගන්න මම තවමත් කැමතියි.නමුත් හරියටම කිව්වොත් මම හිතන්නේ මම කැමති මේ අපි ජීවත් වෙන යථාර්ථයෙන් පැනගන්න ලැබෙන ඒ චාන්ස් එකට.මට කතාවක් කියන දෙයින් නිරූපණය වෙන්නේ අන්න ඒ චාන්ස් එක.

නමුත් හැම දේකටම පස්සේ,අපි හැමෝම එහෙම නෙවෙයිද?අපේ ප්‍රශ්න අමතක කරලා වෙනම ප්‍රශ්න ටිකක් ; අපිට කිසිම දෙයක් කරන්න බලයක් නැති,අපි නිකම්ම බලාගෙන හිටියම විසඳෙන වෙනම ලෝකෙක ප්‍රශ්න ටිකක් ඔලුවට දාලා හිත හදන එක නෙවෙයිද කතාවක කාර්‍යභාර්‍ය ? දවසම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා ගෙදර ප්‍රශ්නත් ඔලුවට දාගන්නවට වඩා වෙනම ලෝකෙක නිදහසේ අතරමං වෙන්න අකමැති කවුද?

මේ කොහොම වෙතත් එක කාරණයක් තියනවා කාටවත් නැහැ කියන්න බැරි. 

කතාවක් කියන්නේ හරිම අපූරු දෙයක්.

Leave a Reply