අද තමයි ඔලුව පොඩ්ඩක් කෙලින් කර ගත්තේ. කොරෝනා හැදිලා අදට සතියක් වගේ වෙනවා. ලංකාවේ ඉන්නකන් කොරෝනා වලින් බේරිලා ඉදලා, නිවාඩුවට රට ඇවිත් මාසයක් යන්නත් කලින් කොරෝනා හදා ගත්තා. මම මෝඩයා වගේ මෙහෙ ඇවිත් ජිම් ගියා. මම හිතන්නේ එකෙන් බෝවුනේ. දැන්නම් පොඩි අවුලකට තියෙන්නේ උගුර රිදෙන එක. ඊයෙ පෙරේදනම් මැරෙන ලෙවල් එකේ හිටියේ.
කොහොමත් ඩුබායි වල කොරෝනා නිකන් උණක් ගානට දාලයි තියෙන්නේ. ඇගේ පතේ අමාරුව අඩු උනාට පස්සෙ මෙහෙ මිනිස්සුන්ට ලෙඩෙත් අමතකයි.
සතියක් පුරාවටම ගෙදරට වෙලා ඉදලා මට එපා වෙලා හිටියේ. උණත් අඩු එකේ අල් හුදෙයිබා ටවුන් එක පැත්තේ රවුමක් දාලා එන්න කියලයි හිතුවේ. ඇදගෙන හිටපු ඇදුම උඩින්ම ජර්සි එකත් දා ගෙන මම එලියට බැස්සා.
හම්මේ පුදුම සීතලක්. මේ දවස් වල උෂ්ණත්වය සෙල්සියස් 8ට 10ට වගේ අඩු වෙනවා. එලියට යනවනම් අනිවාර්යයෙන්ම ජර්සි එකක් දාගෙන යන්න ඕනේ. (අනිත් එක ගෙදරට අදින ඇදුමක් උනත් ඇදගෙන ඕනෙ දිහාක යන්න පුලුවන්. ඇයි ඉතින් උඩින් ජර්සි එක දාලානේ)
මේ පාර ඩුබායි වලට සීත කාලේ එන්න පොඩ්ඩක් පරක්කු උනා. වෙනදට දෙසැම්බර් වලදි තමයි මෙහෙ සීත කාලෙ පටන් ගන්නේ. මේ පාර ජනවාරි මුල් සතියක් වෙනකන්ම ලොකු සීතලක් තිබ්බෙ නැහැ.
මම අත් දෙකත් ජර්සි එක ඇතුලෙම ඔබාගෙන ටවුන් එක පැත්තට ඉක්මනට ඇවිදගෙන ආවා. මේ කාලෙට තමයි මෙහෙ මිනිස්සු මල් එහෙම වවන්නේ. පාරවල් පුරාවට මල් වවලා. ටවුන් එකේ ගස් යට, ඉදගෙන ඉන්න ලස්සන පොඩි ලී බංකු හදලා තියෙනවා. ඒ බංකු වටේටත් පොඩි පොඩි මල් ගස් වවලා. හරි ලස්සනයි. මම ඒ ලග තිබ්බ පොඩි කඩේකින් කෝපි කෝප්පයකුත් අරගෙන ලගම තිබ්බ බංකුවකින් වාඩි වෙලා කෝපි කෝප්පේ තොල ගෑවා.
වටපිට බල බල සීතලේ කෝපි කෝප්පයකුත් බිබී ඉන්නකොට එකපාරම කකුල් දෙකේ පුලුන් බෝලයක් ගෑවෙනවා වගේ දැනුනා. ගැස්සිලා බලද්දි ලස්සන පූස් තඩියෙක්. කකුල් දෙකේ දැවටි දැවටි ඉදලා එක පාරම මම ඉදගෙන හිටපු බංකුව උඩට පැන්නා. පැනලා මම දිහා බලාගෙන ඉන්නවා. පව්. කන්න මොනව හරි දෙයි කියලා වෙන්න ඇති. මගෙ අතේ මුකුත් තිබ්බෙ නැහැ. ඉතින් මම උගුරට දෙකට කෝපි එක බීලා ඒ ලගම තිබුනු කඩේකට ගිහින් පොඩි whiskas පැකට් එකක් අරගෙන ආවා. එද්දි මෙයා බංකුව උඩම නිදි. මම පොඩි තට්ටුවක් දාලා ඇහැරවලා කෑම දුන්නා. මෙයා ටිකක් කාලා, මගෙ ඔඩොක්කුවට ඇවිත් ඉද ගත්තා.




මම මෙයාගෙ ඔලුව අතගාද්දි තමයි දැක්කේ මෙයාගෙ එක කන් පෙත්තක පොඩි කෑල්ලක් කපලා කියලා. ඕකට හේතුව මම දැන ගත්තේ පස්සෙ දවසක.
අපේ අල්ලපු ගෙදර ඉන්නෙ පිලිපීන කපල් එකක්. ඒ දෙන්න හැමදාම හවසට අපේ ගෙවල් පැත්තේ පාරවල් වල ඉන්න පූසන්ට කෑම දෙනව. ඉතින් අපේ ගෙවල් පැත්තේ පූස් ජනගහනය ටිකක් වැඩී. දවසක් මේ දෙන්න කෑම ද දා ඉන්න වෙලාවක මම ඇහුවා ඇයි මේ සමහර පූසන්ගේ කනේ කෑල්ලක් කපලා තියෙන්නේ කියලා. බැලින්නම් ඒ වඳ කරපු පූසොලු.
ඩුබායි වල ගොඩක්ම පාරවල් වල ඉන්නේ පූසෝ. ගොඩක්ම නෙමෙයි, ඉන්නෙම පූසෝ. මෙහෙ පාරවල් වල බල්ලො නැහැ. මේක මේ රටේ ලොකු ප්‍රශ්නයක්ලු. ඉතින් මේකට විසදුමක් විදිහට මෙයාල TNR කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන. (Trap, Neuter and Release) මේ ප්‍රොජෙක්ට් එකේදි මෙයාල පාරවල් වල ඉන්න පූසො අල්ලගෙන ගිහිල්ලා එයාලව වඳ කරනවලු. එහෙම operate කරලා, කන්න බොන්න දීලා, බෙහෙත් එහෙම දාලා ආයෙමත් ඒ පූසන්ව අල්ල ගත්තු තැනටම ගෙනිහින් දානවලු. මෙහෙම වඳ කරපු පූසන්ව වෙන් කරලා අදුරගන්නලු කනේ පොඩි කෑල්ලක් කපන්නේ.
ඩුබායි වල පාරවල් වල පූසො වැඩි වෙන්න තව හේතුවක් තමයි මිනිස්සු පාරවල් වල පූසො දාල යන එක. (අපේ රටේ වගේම තමයි) ඒකට විසදුමක් විදිහට මෙයාල නීතියක් දාල තියෙනව ඔයා ගෙදර සුරතලෙක් ඇති කරනවානම් එයාව කිසිම තත්වයක් යටතේ අත හැරලා යන්න බැහැ කියලා. සුරතලාව බලා ගන්න වෙන කාට හරි දෙනව මිසක් පාරවල් ගානෙ දාල යන්න බැහැ. එහෙම දාල ගිහින් අහු උනොත් ඒක සත්ව හිංසනය කියලා සලකලා ලොකු දඩයක් හෝ සිර දඬුවමක් ලබා දෙනවා.
ටික වෙලාවක් යනකන් පුරු පුරු ගගා මගෙ ඔඩොක්කුවට වෙලා හිටපු පූස් තඩියා බිමට පැනලා පොඩි අතුරු පාරක් පැත්තට ඇවිදගෙන ගියා. එයා ඈතට යනකන්ම මම බලන් ඉදලා ඉතුරු වුන whiskas ටිකත් අරගෙන ආපහු එන්න පටන් ගත්තා. ඒ එන අතරේ පාරෙ හම්බුන තව පුසෙකුට මම ඉතුරු උන කෑම ටිකත් දී ගෙනම ගෙදර ආවා.