You are currently viewing බියර් දෙකයි සිගරැට් එකයි

බියර් දෙකයි සිගරැට් එකයි

බියර් දෙකයි, සිගරැට් එකයි. ඔව්. මොහොතකට, මට මාවම අමතක වෙන්න වියදම් වෙන්නේ ලාගර් දෙකයි ඩන්හිල් එකයි.

ඉස්කෝලේ කාලේ අරක්කු බෝතලයක් දිහා හැරිලවත් බැලුවෙ නැති මම, කැම්පස් ගිහින් පලවෙනි සෙම් එක ඉවර වෙද්දි නොබීපු ජරාවක් නෑ.

සමහර විට මේකට හේතුව උනේ මට හම්බුන අසීමිත නිදහස වෙන්නත් ඇති. අලුතෙන් ගිය බෝඩිම පිලිවෙලට තිබ්බේ ගත්තු පලවෙනි මාසෙ විතරයි. ඊට පස්සෙ අපි හිටපු බෝඩිමේ අඩියක් අඩියක් පාසා තිබ්බෙ හිස් බියර් කෑනුයි, සිගරැට් කොටයි. අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා උට බීඩයක් කටේ තිබ්බෙ නැත්තම් කට පාලුවට ගිහින් වගේ.

කොහොම හරි කැම්පස් ගමන නැවතුනාට පස්සෙ මට ජොබ් එකට නුවරඑළි යන්න සිද්ද උනා.

වකුගඩු වලට වඩා පෙනහලු වටින නිසා මම කැම්පස් යන කාලෙදි සිගරැට් පාවිච්චි කලේ නෑ. ඒ උනාට රස්සාවට නුවරඑළි ගියාට පස්සේ පෙනහලු වලින් ලොකු වැඩකුත් නෑ කියලත් හිතුනා. සීතලට සිගරැට් එකක් පත්තු කර ගන්න කියලා කිව්වේ මගේ බොසාමයි. එදායින් පස්සෙ ඩන්හිල් එකක් නැත්තම් දෙකක් මගේ සාක්කුවෙමයි.

නුවරඑළිය climate එකත් එක්ක සිගරැට් එකක් බොද්දි මාරම ෆීලින් එකක් එන්නේ. හැබැයි ගම්පහ ආව දවස් වලට මම සිගරැට් බොන් නෑ. එක හේතුවක් තමයි ගෙදරින් අහු උනොත් මට ආයෙ ගෙදර එන්න වෙන් නැති එක, අනිත් එක මෙහෙ තියෙන රස්නෙ හැටියට සිගරැට් එකක් බොනවට වඩා හොදයි අයිස් පැකට් එක උරන එක.

කොහොම හරි යාලුවො එක්ක හම්බුන හැම වෙලාවකම වගේ මම බොන්න ගත්තා. බොනවා කියන්නේ, මේ සුන්දර විදිහට ශොට් එකක් දාලා, යාලුවො එක්ක කයියක් දාන් චිල් එකේ ඉන්නවා නෙමේ. ආයෙ හිටගන්න බැරි වෙන්නම ගහලා අරිනවා. සමහර දවස් වලට මට කලින් දවසෙ රෑ උන දේවල් මතක නැහැ.

කාලයත් එක්ක මට මේ වැඩේ එපා උනා. බොන එක සම්පූර්ණයෙන්ම නවත්තගන්න බැරි උනත් ලිමිට් එකකට බොන්න පුරුදු උනා. සිගරැට් නම් නවත්තලම දැම්මා.

අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඇයි මිනිස්සු බොන්නෙ කියලා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක මිනිස්සු ඇයි මේ විදිහට කුඩු පට්ටම් වෙන්න ගහන්නේ කියලා.

මිනිස්සු ඇයි ඇත්තටම බොන්නේ? බොන්න හේතු තියෙනවද?? බොන්න හේතු ඔනේද?? ඒක නිකන් ඇයි ඔයා ෆිල්ම් බල්න්නේ ඇයි කියලා අහනවා වගේ දෙයක්. මිනිස්සු හරි ආසයි තමන්ගේ responsibility අමතක කරන්න. කෙටි වෙලාවකට හරි වෙන ලෝකෙක ජීවත් වෙන්න.

මම දන්නවා මමනම් බොන්න පටන් ගත්තේ යාලුවො සෙට් එක නිසා කියලා. කොන් වෙන්න බැරි කමට බිව්ව මිසක් මට අරක්කු ඕනෙමයි කියල දෙයක් තිබ්බෙ නෑ. මගෙ ප්‍රශ්නෙ තිබ්බෙ ලිමිට් නොදැන බීමයි.

මත්පැන් වලින් මිනිසුන්ට වින්දනයක් ලැබෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මත්පැන් බීමේ වින්දනයක් තියනවා. ඒත් අපේ රටේ ගොඩක් මිනිස්සු බොන්නේ වින්දනයට නෙවෙයි, හිරිවැටීමක් විදියට.

මත්පැන්වලින් හිරි වැටුණට පස්සේ පැය කිහිපයක් යනකල් ගෙවල්වල ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, කෑම බීම ප්‍රශ්න, රටේ ප්‍රශ්න අමතක වෙනවා. මේ තරම් ප්‍රශ්න ගොඩක් එක්ක ඔට්ටු වෙනවට වඩා ලේසි ටික වෙලාවකට හරි ඒව අමතක කරලා දාල ඉන්න එක.

මිනිස්සු ආසයි තමන්ගේ responsibilities වලින් තොරව ජීවත් වෙන්න. ප්‍රශ්න අමතක වෙන්න මිනිස්සු බොනවා කිව්වහම මම ඉස්සර හිනා උනා.

ඔයා දන්නවද නුවරඑළිය තමයි ලංකාවේ වැඩිම බාර් සංඛ්‍යාවක් තියෙන නගරය කියලා. මම නුවරඑළිය ඉද්දි දැකපු ලොකුම දේ තමයි මෙහෙ මිනිස්සුන්ගේ අරක්කු භාවිතය්.

තේ වතු වල වැඩ කරන මිනිස්සු සෑහෙන්න බොනවා. උදේ බාර් එක අරිද්දි සෙනග පෝලිමේ ඉන්නවා කාලක් දා ගන්න. රෑ 9ට බාර් එක වහද්දිත් පෝලිමක් තියෙනවා. මේ මිනිස්සුන්ට නින්ද යන්නේ බිව්වහම.

නුවරඑලියේ තේ වතු වල වැඩ කරන මිනිස්සුන්‍ට මාරම ප්‍රශ්න තියෙන්නේ. පොඩි ලමයි පහ හය ඉන්න ගෙවල් තියෙනවා කෑම බිදක්වත් ගෙදර නැති. ඒ මදිවට මේ පොහොර ප්‍රශ්නයක් නිසා මෙයාලගෙ එකම ආදායම් මාර්ගයත් නැති වෙලා ඉන්නේ.

ඉතින් මෙයාල කරන්නෙ බොන එක. පිරිමි විතරක් නෙමෙයි, ගැහැනු අය පවා සෑහෙන්න බොනවා. එක මොහොතකට හරි ප්‍රශ්න අමතක වෙන්න කියලා බොනවා.

නුවරඑළිය බාර් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් විනෝද වෙන්න, පාටි දාන්න මත්පැන් හොයන මිනිස්සු නෙවෙයි – හිරිවැටෙන්න බේත් හොයන මිනිස්සු.

අපි දැන් කතා කරමු ලංකාව වගේ රටක මිනිස්සු ඇයි කුඩු වෙන්න බොන්නේ කියලා.

ලංකාව කියන්නේ මත්පැන් මිලදී ගන්න බාධා වැඩි ම රටක්. මත්පැන් මිල නිරන්තරයෙන් ඉහළ දමනවා. පෝයට බාර් වහනවා. පිටරට බ්‍රෑන්ඩ් එකක් ගහන්න
මාස දෙකක පඩියක් වැය කරන්න වෙනවා. බදු ගහනවා. නීති දානවා. පිටරට ගිහින් බෝතලයක් ගෙනාවොත් ඒකටත් ශොට් එක දෙන්න custom එකෙන් බලන් ඉන්නවා.

මත්පැන් මේ විදියට දුලබ කරහම වෙන්නේ මිනිස්සුන්ට බොන්න හම්බුනහම පෙරේත විදිහට බොන්න ගන්න එක. ඔන්න ඕකයි ලංකාවෙ මිනිස්සු මගුල් ගෙවල්, මල ගෙවල් වලට ගියහම හතරගාතෙන් එන්න බොන්නේ. නිකන් හම්බෙන වෙලාවෙ පුලුවන් තරම් බොන්න එපෑ.

ඉතින්, මම මේ කතාව මෙහම නවත්තන්නම්. මේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවද කියන්න මම දන් නෑ. කාලෙකින් මුකුත් ලිව්වෙ නැති නිසා හිතට ආපු දේවල් ඕහේ ලියා ගෙන ගියා. ඔයා මේ කතාව මෙතනට එනකන්ම කියෙව්වනම් බොහොම ස්තුතිය. එහෙනම් තවත් article එකකින් හමුවෙනකම් සමු ගන්නවා.

Leave a Reply