You are currently viewing පොත් කියවන්නන්ගේ පාරාදීසය

පොත් කියවන්නන්ගේ පාරාදීසය

Dan Brown කියවන්න පටන් ගත්තු කාලෙ මගෙ ලොකු පිස්සුවක් තිබුනා ඒ පොත් මාලාවේ Hard Cover පිටපත් ටික එකතු කරගන්න. මම දන්න හැම පොත් සාප්පුවකම බැලුවත් මට ඒ පොත් ටිකේ hard cover පොත් ටික හම්බුන් නැහැ.

ඔය අතරේ තමයි කැම්පස් එකේ තෙවිදු කියලා යාලුවෙක් මගෙන් ඇහුවේ “උබ ඔය හොයන පොත මරදානෙ පරණ පොත් කඩවල් වල බැලුවද” කියලා. තෙවින්දුවා විතරයි මම දන්න තරමට මම ඇරුනහම කැම්පස් එකේ කතන්දර පොත් කියවන එකෙක්ට හිටියේ.

මරදානෙ පරණ පොත් කඩයක් ගැන ජීවිතේට අහලවත් නැති මම කිව්වා අපි දෙන්නා ගිහින් බලමුද කියලා. මිනිහටත් කියවන්න පොත් වගයක් ගන්න ඕනෙලු. මේ ටිකේ සල්ලි නැති නිසා මහපොළ වැටුන ගමන් යමු කිව්වා.

තෙවිදුවට මහපොළ වැටුන දවසෙම අපි පොත් ගන්න යන්න ලෑස්ති උනා. (මට මහපොළ තියා බර්සරි එකවත් නෑ. මොකද මගෙ අම්මයි තාත්තයි ඩබලම රජයේ රස්සා කරන්නේ. ඒක නිසා මම නම්බුකාර හිගන්නෙක්)

අපි කැලණියෙන් ට්‍රේන් එකට නැගලා මරදානට ආවා. මරදාන ස්ටේශන් එකේ ඉදලා පයින් යන දුරින් තමයි පරණ පොත් කඩ ටික තියෙන්නේ.

අපි දෙන්න කයියකුත් දාගෙන හිමින් සැරේ පොත් ගන්න ගියා.

මෙතන එක කඩයක් නෙමෙයි, පොත් කඩ කිහිපයක්ම තියෙනවා. මේවා ගොඩාක් පොඩි පොත් කඩ. කඩ පොඩි උනාට පොත් නම් සෑහෙන්න තියෙනවා.

මේ කඩ ඇතුලේ හැරෙන්නවත් ඉඩ මදි. ඒ තරමට පොත් පුරවලා තියෙන්නේ. මේවයේ තියෙන්නේ ගොඩාක් පරණ පොත් පත් නිසා දූවිල්ල්නම් පොඩ්ඩක් තියෙනවා. ඒ වගේම කඩ ඇතුලෙ පොඩි අදුරු ගතියකුත් තියෙනවා. වංකගිරියක් වගේ. ඇත්තටම මෙහෙම පරණ පොත් කබඩ් අස්සෙ රිංගගෙන පොත් තෝරන එකත් වෙනම ෆීලින් එකක්.

මේ පරණ පොත් කඩ වල වැඩි හරියක්ම තියෙන්නේ ඉංග්‍රීසි කතන්දර පොත්. සිංහල පොතුත් අතරින් පතර තියෙනවා. ඒත් වැඩිහරියක්ම තියෙන්නෙ කලින් පාවිච්චි කරපු ඉන්ග්‍රීසි නවකතා සහ කෙටිකතා පොත්.

මේ පොත් වල කලින් අයිතිකරුවන්ගේ මතක සටහනුත් සමහර වෙලාවට ඉතිරි වෙලා තියෙනවා. මම මෙතනින් ගත්තු පොත් කිහිපයක් ඇතුලෙම පොතේ කලින් අයිතිකරු ලියපු කුඩා සටහන් වගේම ඇදපු චිත්‍රත් තිබුනා. එක පොතක් ඇතුලේ තිබිල මට love letter එකකුත් හම්බ උනා. ඒක නිසා පොතක් ගන්න කලින් හොදට පිටු පෙරලලා බලලා ගන්න.

කොච්චර පරණ උනත් මේ පොත් කඩවල් වල අයිතිකරුවන් මේ පොත් සෑහෙන්න පරිස්සම් කරලා තියෙනවා. එයාල ලස්සනට, පිලිවෙලට මේ පොත් categorize කරලා රාක්ක වලට දාලා තියෙනවා.

ජීවිතේට කියවල ඉවර කරන්න බැරි තරම් novels මෙතන තියෙනවා. ඒ විතරක් නෙමෙයි පිටරට මැගසීන්, පත්තර උනත් මෙතනින් ගන්න පුලුවන්.

හැබැයි පොත් තෝරද්දි පරිස්සමට පොත් ගන්න. පොත් එක උඩ එක තියෙන්නේ. ඉතින් හිමින් සැරේ පිලිවෙකට පොත් ගන්න. නැත්තම් මුලු කඩේම කඩා පාත් වෙයි.

සාමාන්‍ය පොත් සාප්පුවකින් හොයා ගන්න අමාරු පරණ පොත්පත් උනත් මෙතනින් හොයා ගන්න පුලුවන්.

පොත් සාප්පුවක මිලට වඩා සෑහෙන්න අඩුවෙන් මෙතනින් පොත් මිලට ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පොතේ මිලෙන් බාගයක් වගේ තමයි මෙතනදී ගෙවන්න ඕනේ.

කඩේට ඇතුල් වෙන තැනම වගේ තමයි මිල අඩුම පොත් තියෙන්නේ. රුපියල් 50හෙ රුපියල් 100යෙ පොත් කූඩ තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔය පොත් කූඩ වල සෑහෙන්න වෙලා පොත් හොයනවා. ඇයි දෙයියනේ වෙන කොහෙන්ද රුපියල් 50ට පොත් ගන්න පුලුවන්.

Hardcover පොතක් මෙතනදී ඔයාට රුපියල් 750ත්-1000ත් අතර මුදලකට මිලදී ගන්න පුලුවන්. සරසවි වගේ පොත් සාප්පුවක hardcover පොතක් රුපියල් 3500ක්වත් වෙනවා.

අනිත් දේ තමයි අපි කියවපු පොතක් දීලා අලුත් පොතක් ගන්නත් පුලුවන්. මම ගොඩක් වෙලාවට කරන්නෙ ගෙදර කියවල ඉවර කරපු පොත් සෙට් එකකුත් අරගෙන ඇවිත් ඒවා මෙතනින් හුවමාරු කර ගන්නවා.

මම හිතන්නේ වැඩි පිරිසක් තවම මේ තැන ගැන දන්නෙ නැහැ. මොකද මම ගියපු කිහිප වතාවෙම සෙනග හිටියේ බොහොම අතලොස්සයි.

තෙවිදුවයි මමයි හවස් වෙනකන්ම ඇවිද ඇවිද පොත් හෙව්වා. මගෙ වාසනාවට මම හොය හොය හිටපු පොත් දෙකක්ම හම්බුනා. අපි දෙන්න සෑහෙන්න පොත් ගත්තා. මොකද ඉතින් මෙතන සාමාන්‍යයෙන් පොතක මිල වෙන්නේ රුපියල් 300ක් නැත්තම් 400ක්. කොහොමහරි පොත් අරගෙන ස්ටේශන් එකට එද්දි සෑහෙන්න කලුවර වැටිලා. අපි දෙන්න ඒ ලග කඩේකින් ප්ලේන් ටී එකකුත් ගහලා 7.40 ට්‍රේන් එකේ නැගලා බෝඩිමට ආවා.

ඔයත් වෙනසකටත් එක්ක ආපහු පොතක් ගන්න යද්දි මින්සර, ගුණසේන වගේ පොත් සාප්පුවකට යන් නැතුව මෙතනට එන්න. මට ශුවර් ඔයාට ගැලපෙන පොතක් මෙතනින් හොයා ගන්න පුලුවන් කියන එක. අනික පොත් සාප්පුවකින් එක පොතක් ගන්න ගානට මෙතනින් පොත් දෙක තුනක්ම ගන්න පුලුවන්.

ඉතින් ඔයත් මෙතනට ගිහින් තියෙනවනම් ඔයාගෙ අත්දැකීමුත් පහලින් comment කරන්න. එහෙනම් තවත් ආර්ටිකල් එකකින් හමුවෙනකම් මම අදට සමුගන්නම්

Leave a Reply