මම ලගදි සමාජවාදය ගැන මරු Documentary එකක් බැලුවා. ඒකෙ තිබුන පොඩි කතාවකින්ම මම ආර්ටිකල් එක පටන් ගන්නම්.
කියුබානු තරුණයෙක් ඒ රටේ තරුණියකට ආදරේ කරනවා. ඉතින් මේ තරුණයා තමන් හෝටලයක දොරටුපාලකයෙක් කියලා තරුණියට කියනවා. මේක අහපු ගමන් තරුණිය මේ තරුණයාට කැමැත්ත දෙනවා. හැබයි ටික කාලෙකින් මේ සම්බන්ධය නතර වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ තරුණයා ඇත්තටම හෝටලයක දොරටුපාලකයෙක් නෙමෙයි, ඔහු ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා තරුණිය දැන ගන්න නිසා.
මේක විහිලුවක් කියලා හිතුනට සමාජවාදී රටක් වන කියුබාවේ මේක ලොකු ප්‍රශ්නයක්.
කියුබාවේ ඉන්ජිනේරුවෙකුගේ මාසික වැටුප ඩොලර් 30ක් පමණ වෙනවා. දොස්තර කෙනෙක්ගෙ වැටුප මීට වඩා පොඩ්ඩක් වැඩියි. ඩොලර් 45ක් වගේ හම්බෙනවා.
කියුබාවේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගේ දෛනික වැටුප ඩොලර් 50ක් පමණ වෙනවා. ඔව්. කියුබාවේ වැඩිම පඩියක් හම්බෙන රස්සා වලින් එකක් තමයි ටැක්සි රථ පදවන එක. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාසික වැටුපට වඩා වැඩි ගානක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක දවසින් උපයනවා. මොකක්ද මේකට හේතුව ?සමාජවාදය.
මොකක්ද මේ සමාජවාදය?
Socialism එහෙමත් නැත්තම් සමාජවාදය කියන්නේ රට තුල තියෙන සෑම දෙයක්ම රජය විසින් පාලනය කිරීමයි. එහෙමත් නැත්තම් රට තුල තියෙන සියලු දේ රජය සතුයි කියන සංකල්පය. ආණ්ඩුව විසින් රට තුල තියෙන සෑම ව්‍යාපාරයක්ම හසුරුවන්නේනම්, සෑම නීතියක්ම සම්පාදනය කරන්නේනම්, හමුදාව මෙහෙයවන්නේ නම් එය සමාජවාදී රාජ්‍යයක්.
සමාජවාදයේ මූලික මූලධර්ම කිහිපයක් මම පහතින් සදහන් කරන්නම්.
1. සෑම පුරවැසියෙක්ටම සමාන අවස්ථා ලබා දීම.
2. රටක ආර්ථිකය රජය මගින් සැලසුම් කිරීම.
3. සමාජ පන්ති රහිත සමාජයක් ගොඩනැගීම.
4. ජීවිතයේ මූලික අවශ්‍යතා රජය විසින් ලබා දීම.
5. තරඟකාරීත්වයක් නැති වෙළදපොලක් බිහි වීම.
සමාජවාදී රටකට හොදම උදාහරණ තමයි කියුබාව. මේ ලගක් දක්වාම කියුබාවේ සියලුම පුරවැසියන් වැඩ කලේ රජයට. පාරේ ටිකට් විකුනන මනුස්සයාගෙ සිට දොස්තර දක්වා සියලු දෙනාම රජයට අවශ්‍ය විදිහටයි වැඩ කල යුත්තේ. කියුබාවේ පුරවැසියන් සියල්ලටම එකම මාසික වැටුපක් රජයෙන් ලබා දෙනවා. ඉතින් ඔයා ටිකට් විකුනුවත්, දොස්තර කෙනෙක් උනත් එකම වැටුප තමයි හම්බෙන්නේ.
ඔයා කියුබාවේ කොත්තු කඩයක් දැම්මා කියන්නකො. ලංකාවෙනම් ඔයා කොත්තු විකුණන තරමටනේ ඔයාට ආදායමක් ලැබෙන්නේ. කියුබාවේ එහෙම නෑ. මාසෙකට ඔයා කොත්තු එකක් වික්කත්, සීයක් වික්කත්, මාසෙ අග ඔයාගෙ ආදායම එකයි. මොකද කොත්තු කඩේ ඔයාට අයිති නැහැ. ඒක රජයේ ආයතනයක්. රජයෙන් ඔයාට මාසික වැටුපක් ගෙවනවා විතරයි. ඔයා කොච්චර කොත්තු විකිනුවාද කියලා අදාල නැහැ.
දැන් අපි බලමු කොහොමද කියුබාවේ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා මෙච්චර ලොකු ආදායමක් ලබන්නේ කියලා.
මේ වෙද්දි කියුබානු රජය පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයකට අවසර දීලා තියෙනවා. එයින් එකක් තමයි කුලී රථ දාවනය. ටැක්සි රථයක් එලවීමෙන් ලැබෙන මුලු ලාභයම ඩ්‍රයිවර්ට හම්බෙනවා. රජයෙන් මැදිහත් වීමක් වෙන් නෑ. ඉතින් ගොඩක් ඉන්ජිනේරුවො, දොස්තරවරු ටැක්සි රථ පදවනවා. මොකද මෙයාලට සංචාරකයන්ගෙන් තමන්ට කැමති ගානක් අය කර ගන්න පුලුවන් නිසා. හෝටල් වලට එන සංචාරකයන් හෝටලයේ දොරටුපාලකයන්ට ටිප් දෙන නිසා සාමාන්‍යයෙන් කියුබාවේ හෝටලයක දොරටුපාලකයෙක් පවා හොද මුදලක් උපයනවා.
හරි අපි දැන් බලමු ධනවාදය කියන්නේ මොකක්ද කියල.
සමාජයක සියලුම ව්‍යාපාර පෞද්ගලික අංශයෙන් පාලනය කරනවානම් එය ධනවාදී සමාජයක්. ධනවාදී සමාජයක අධ්‍යාපනය, සෞඛ්‍යය අංශය, ප්‍රවාහනය, ඉඩම්, වැනි සියලුම දේවල් පෞද්ගලික සමාගම් කිහිපයකින් මගින් පාලනය කරයි.
ධනවාදය මගින් හොද තරගකාරී වෙළෙඳපළක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමාගේ හැකියාවට සරිලන වටිනාකමක්ද ලැබෙනවා.
හැබැයි එහෙමයි කියලා රටක සෑම අංශයක්ම පෞද්ගල අංශයට දෙන්න හොද නැහැ. සෞඛ්‍යය අංශය, අධ්‍යාපන අංශය, යුද හමුදාව, පොලීසිය වැනි දේවල් පෞද්ගලික අංශයට පාලනය කරන්න දුන්නොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. විශේෂයෙන්ම හමුදා මෙහෙයවීම.
ධනවාදය නිසා පෞද්ගලික සමාගම් වලට හිතුනු හිතුනු විදිහට භාණ්ඩ වල මිල වැඩි කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම පෞද්ගලික සමාගම් වලට විශාල බලයක්ද හිමි වෙනවා. සමාජ පන්ති බිහි වෙන්න පටන් ගන්නවා මෙන්ම පොහොසතුන් සහ දුප්පතුන් අතර තියෙන පරතරයද වැඩි වෙනවා. The rich get richer & the poor get poorer.
ඔයාට දැන් තේරෙනව ඇති සමාජයක් මුලුමනින්ම ධනවාදී හෝ සමාජවාදී වෙන්න හොද නැහැ. මේ කොටස් දෙකම එකට පැවතිය යුතුයි. අපේ ප්‍රශ්නය තමයි, රාජ්‍යයක් කොපමණ දුරට සමාජවාදී සහ ධනවාදී විය යුතුද යන්න.
අපි ලෝකෙ තියෙන රටවල් කිහිපයක් අද්‍යනය කරමු. මම රටවල් කිහිපයක දල වශයෙන් පවතින සමාජවාදී ප්‍රතිශතය සහ ධනවාදී ප්‍රතිශතය පවසන්නම්.
* උතුරු කොරියාව: 5% ධනවාදය, 95% සමාජවාදය
* කියුබාව: 10% ධනවාදය, 90% සමාජවාදය
* චීනය: 50% ධනවාදය, 50% සමාජවාදය
* නෝර්වේ: 60% ධනවාදය, 40% සමාජවාදය
* දකුනු කොරියාව: 70% ධනවාදය, 30% සමාජවාදය
* එංගලන්තය: 70% ධනවාදය, 30% සමාජවාදය
* ජපානය: 70% ධනවාදය, 30% සමාජවාදය
* ඇමරිකාව: 80% ධනවාදය, 20% සමාජවාදය
මෙතනදි ඔයාට රටාවක් පේනව ඇති. රාජ්‍යයක් වැඩිපුර ධනවාදී පැත්තට බර වෙන තරමට රාජ්‍යය ධනවත් වෙනවා. රාජ්‍යයක් සමාජවාදී පැත්තට යන විට එය දිළිදු රාජ්‍යයක් බවට පත් වෙනවා.
මේකට හොදම උදාහරණ තමයි කොරියාව. උතුරු කොරියාව ඉතාමත් දුප්පත් රාජ්‍යයක් වන අතර දකුණු කොරියාව තරමක් දුරට පොහොසත් රාජ්‍යයක්. මොකද උතුරු කොරියාවේ ක්‍රියාත්මක වෙන්නේ සමාජවාදය. දකුණු කොරියාවේ ක්‍රියාත්මක වෙන්නේ ධනවාදය.
තවත් උදාහරණයක් විදිහට අපි චීනය දෙස බලමු. චීනය මේ වෙනකොට ලෝක බලවතෙක්. හැබැයි අවුරුදු 40කට 50කට කලින් චීනය කියන්නේ ලෝකයේ තිබුනු දිළිදුම රාජ්‍යයන් වලින් එකක්. සමාජවාදී රාජ්‍යයක් ලෙස හිටපු චීනය ටිකෙන් ටික ධනවාදී සංකල්ප තම රටට හදුන්වා දෙන්න පටන් ගැනීමත් එක්ක මේ ආර්ථිකමය වෙනස් වීම සිදු වුනේ.
මම හිතන විදිහට රාජ්‍යයක් 70% පමණ ධනවාදී විය යුතු අතර 30% පමණ සමාජවාදී විය යුතුයි. මොකද මම කලින් සදහන් කලා වගේ රටක් අනවශ්‍ය විදිහට ධනවාදී වුනොත් එතනත් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.
මේකට උදාහරණයක් විදිහට මම ඇමැරිකාව ගන්නම්. ලෝකයේ බලවත්ම රට වෙන ඇමරිකාවේ inhaler එකක මිල ඩොලර් 300ක් පමණ වෙනවා. ලංකාවේ ඕනෙම ෆාර්මසි එකකින් රුපියල් දෙතුන්දාහකට ගන්න පුලුවන් inhaler එකක් ඇමරිකාවේ රුපියල් 90,000ක් විතර වෙනවා.
ඇමරිකාවේ ඇම්බියුලන්ස් එකකට කොච්චර ගෙවන්න ඕනෙද. දැන් ඔයා හිතනවා ඇති ඇම්බියුලන්ස් වලට ගෙවන්නත් ඕනෙද කියලා. ඔව්. ඔයා ඇමරිකාවෙනම් ජීවත් වෙන්නේ ඇම්බියුලන්ස් එකකට ඔයා ඩොලර් 2,500ක් ගෙවන්න ඕනේ. රුපියල් වලින් නම් ලක්ශ හතහමාරක් විතර.
ඔයාට රෝහලේදී ලමයෙක් හම්බුනොත් ඒකට ඔයා ඩොලර් 10,000ක් පමණ ගෙවන්න ඕනේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකට රෝහල් ගාස්තු ඩොලර් 10,000ත් – 30,000ත් අතර ගානක වියදම් වෙනවා. රුපියල් නෙමෙයි. ඩොලර්. ඒකෙත් හොදම විහිලුව තමයි, ඔයා බිහි කරපු දරුවාව ඔයාගෙ අත් දෙකට ගන්නවටත් මෙයාලා ඩොලර් 40ක් අය කරනවා.
සෞඛ්‍ය අංශය වගේ දෙයක් 100% privatized උනොත් මේ වගේ ප්‍රශ්න ගනනාවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. පෞද්ගලික සමාගම් වලට තමන්ට කැමති විදිහට භාණ්ඩ වල මිල ගනන් වෙනස් කරන්න පුලුවන් වෙනවා.
ධනවාදය දිනල අවසන්ද?
සමාජවාදී ලෙස පමණක් සිටිය සෑම රටක්ම වගේ ඉතාමත් කෙටි කාලයකින් ධනවාදී සංකල්ප තම රටට හදුන්වා දුන්නා.
* සමාජවාදය රුසියාවේ අසාර්ථක විය.
* සමාජවාදය රොමේනියාවේ අසාර්ථක විය.
* සමාජවාදය ස්වීඩනයේ අසාර්ථක විය.
* සමාජවාදය වියට්නාමයේ අසාර්ථක විය.
* සමාජවාදය පෝලන්තයේ අසාර්ථක විය.
සමාජවාදී සංකල්ප මගින් පමණක් රාජ්‍යයක් කරගෙන යෑම අසීරු කටයුත්තක්. සමාජවාදය ක්‍රියාත්මක කරපු සෑම රටකම කාලයත් එක්ක රටවැසියන්ම එකතු වී සමාජවාදය අවසන් කර දැම්මා.

ඇත්තටම අපි දැන් ජීවත් වෙන්නේ ධනවාදී ලෝකයක. (නූතන සමාජය සම්පූර්ණ වශයෙන් ධනවාදී නොවුනත් ගොඩක් දුරට ධනවාදී සංකල්ප භාවිතා කරනවා)
ධනවාදය නිසා ලෝව ඇති වෙලා තියෙන සමාජීය වෙනස්කම් කිහිපයක් මම නම් කරන්නම්.
* ලොව පුරා ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇත
* සාගතයෙන් සිදුවන මරණ බොහෝ දුරට අඩු වී ඇත
* යුද්ධයෙන් සිදුවන මරණ බොහෝ දුරට අඩු වී ඇත
* ළමා මරණ සංඛ්‍යාව අඩු වී ඇත
* වැළැක්විය හැකි රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී ඇත
* දරිද්‍රතාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී
* තරඟකාරිත්වය තුළින් තාක්ෂණය සහ විද්‍යාව දියුණු වෙමින් පවතී
ධනවාදය මගින් රාජ්‍යයක ආර්ථිකය ශක්තිමත් කරයි. ඊට හේතු කිහිපයක් පහතින් සදහන් කරන්නම්.
1. තරඟකාරීත්වය මගින් භාණ්ඩ වල මිල අඩු වන අතර ගුණාත්මකභාවය වැඩි වෙයි.
2. හොඳ සමාගම් වර්ධනය වන අතර නරක සමාගම් ව්‍යාපාරයෙන් ඉවත් වේ.
3. මිනිසුන්ට ඔවුන්ගේ වටිනාකම මත ගෙවීම් සිදු වෙයි.
4. පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ වේ.
මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ සමාජවාදයේ කියනවා වගේ සෑම පුද්ගලයෙක්ටම සමාන අවස්ථා හම්බෙන, සමාජ පන්ති රහිත, සැමට එක ලෙස සලකන රාජ්‍යයක් දැන්ම බිහි වන්නේ නැති බව.
ධනවාදී සංකල්ප වල ප්‍රශ්න කිහිපයක් තිබුනත් ධනවාදය මගින් ලෝකය දියුණු කර තිබෙනවා. තාක්ෂණය, විද්‍යාව, සෞඛ්‍යය වැනි අංශ් වල විශාල වර්ධනයක් ධනවාදය මගින් ඇති කර තිබෙනවා.
ධනවාදය, පරිපූර්ණත්වයෙන් ඈත් වුවත්, අපට මෙතෙක් දුරට ලැබී ඇති හොඳම පිළිතුරයි.
💜💜
Thank You 🥰